HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පියවි ඇසින් දැක ගත හැකි ඈත විශ්වයෙහි විස්මිත දසුනක්!

ඈත විශ්වයෙහි ඉතාමත් විස්මයජනක දසුනක් පියවි ඇසින් ඔබට දැක ගන්නට ලැබේවි! එය ජීවිත කාලයක් තුළ දැක ගත හැකි එකක් කියලයි, නාසා ආයතනය කියන්නේ. අභ්‍යවකාශයේ දුර්ලභ ගණයේ පිපිරීමක් තව සතියකින් පමණ සිදු වෙනවා. සතියක කාලයක් පුරා පමණක් දැක ගත හැකි මේ පිපිරුම ඔබට පියවි ඇසින් දැක ගන්න පුලුවන් කියලා නාසා ආයතනය කියනවා. ඒත් නාසා ආයතනය තවමත් එය සිදුවන වේලාව නිශ්චිතව දක්වා නැහැ. 

2024 මෙතැන් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සුදු වාමන තරුවක් 
නිසා ඇතිවන නෝවා පිපිරුමක් මෙහි දක්වා ඇති කොරෝනා 
බොරියේලිස් (Corona Borealis) තරු පංතියෙහි දැක ගන්න පුළුවන්.

මෙහි සිට ආලෝකවර්ෂ 3000ක් දුරින් පිහිටි කොරෝනා බොරියේලිස් (Corona Borealis) තරු පංතියෙහි ඇති තරුවක් (එය හඳුන්වන්නේ T CrB කියලයි. මේ පිපිරුමෙන් බිහිවන නව තරුව වසර 80ක් තිස්සේ රාත්‍රි අහසේ පියවි ඇසින් දැක ගන්න පුලුවන්. මෙය ඔබේ ජීවිත කාලය තුළ පියවි ඇසින් දැක ගත හැකි එකම විස්මයජනක දසුනයි. 

අපේ අහසේ උතුරු අර්ධගෝලයෙහි පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000ක් ඈතින් පිහිටි ටී කොරෝනා බොරියේලිස් තරුව පිපිරීමට ආසන්නවයි දැන් තියෙන්නේ. බූටේස් (Bootes) හා හර්කියුලිස් (Hercules) තරු පංති අතර ඇති අර්ධවක්‍රාකාර හැඩයෙන් යුත් කොටසෙහි පිහිටි මේ තරුව තමයි පිපිරී සුපර් නෝවා එකක් බවට පත්වෙමින් සතියක කාලයක් අහසේ දීප්තිමත් ආලෝකයක් නිකුත් කරන්නේ. එය අපට දිස්වනුයේ පොලාරිස් (Polaris) හෙවත් උතුරු තරුව තරමට දීප්තිමත්වයි. 

මෙහි සිට ආලෝක වර්ෂ 3000ක් දුරින් පිහිටි T CrB තරුවේ සිදුවන 
සුපර්නෝවා පිපිරීම නාසා සිත්තරකු දුටු අයුරු.

මේ සිදුවීම දකුණු අර්ධගෝලයෙහි අයට දැක ගන්න හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ අයට මෙය සමහර විට දැක ගන්න පුලුවන් වේවි. ඒ මුහුදු වෙරළේ දී හෝ උස් කඳුමුදුනක දී ක්ෂිතිජය ආසන්නයේ දී විතර. ශ්‍රී ලංකාව සමකයට අංශක 7ක් ඉහළින් පිහිටා ඇති නිසා තමයි ඒ ස්ථානයේ දී දැක ගත හැකි වන්නේ.  බූටේස් හා හර්කියුලිස් තරු පංති අතරින් අශ්ව ලාඩම හැඩයට මේ කොරෝනා බොරියේලිස් තරු පංතිය දැක ගන්න පුළුවන්.

මේ විධියට පිපිරුමට ලක්වන තරු හඳුන්වන්නේ නෝවා (nova) කියලයි. සෑම සියවසකට වරක් සිදුවන කෙටි පිපිරුමක් වන මෙය ඇති වන්නේ සූර්යයා ප්‍රමාණයේ සුදු වාමන තරුවක් හා සූර්යයා මෙන් 74 ගුණයක් විශාල දැනට මිය යමින් ඇති රතු යෝධ තරුවක් ඊට පමණට වඩා සමීප වීම නිසයි. 

ඒ තරුවල සමීප වීම නිසා රතු යෝධ තරුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 4.000ත් 5,800ත් අතර ගණනකින් ඉහළ නංවනවා. එවිට රතු යෝධ තරුවේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 360,000ක් තරම් වෙනවා. මේ අධික උෂ්ණත්වය T CrB තරුවේ බාහිර ස්තර ඉවත් කරමින් ඒවා සුදු වාමන තරුවෙහි මතුපිට තවරන්නට හේතු වෙනවා. 

රතු යෝධ තරුවේ පදාර්ථ එහි උෂ්ණත්වය උපරිම මට්ටමට ළඟා වීමත් සමඟ එහි න්‍යෂ්ටික ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. එය ලෝක අවසානයේ දී සිදුවන ආකාරයේ මහා පිපිරීමක් ඇති කරනවා. එයින් නිකුත් කෙරෙන ශක්තිය අපේ සූර්යයාගෙන් වසරක් තිස්සේ නිකුත් කෙරෙන ශක්තිය මෙන් දසදහස් ගුණයත් ලක්ෂ ගුණයත් අතර ප්‍රමාණයක් වෙතැයි සැලකෙනවා. 

මේ තරුව සුපර්නෝවාවක් (supernova) ලෙස පිපිරීමේ දී විනාශ වී යන්නේ නැහැ. ඒ වෙනුවට තරුව සිසිල් වෙමින් කලින් එහි උෂ්ණත්වය පැවති තත්වයට පත් වී එහි ක්‍රියාවලිය නැවත පටන් ගන්නවා. 

T CrB තරුවේ මේ විධියේ පිපිරීම් 1946 දීත්, 1866 දීත් සිදු වී තියෙනවා. එසේ ම ඊට වසර සියයකට පෙරත් ඒ ගැන යම් යම් අය නිරීක්ෂණය කළ බවට වාර්තා වෙනවා. ඇමෙරිකාවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ ‍ප්‍රැන්සිස් වොලස්ටන් පූජකවරයා පවසන ආකාරයට‍ මේ තරුව හෝ ඒ ආසන්නව පිහිටි තරුවක් නීරීක්ෂණය කිරීම පිණිස 1787 වසරේ දී අවම වශයෙන් හතර වතාවක්වත් උත්සාහ කර ඇති බවට වාර්තා තියෙනවා. 

1217 වසරේ දී ඇබට් බුචාඩ් ලියා ඇති වාර්තාවකට අනුව කොරෝනා බොරියේලිස් තරු පංතියෙහි වේගයෙන් මතු වු තරුවක් තමා නිරීක්ෂණ කළ බවත් ඒ තරුවේ මහා දීප්තියක් පැවති බවත් ඒ දීප්තිය දින කීපයක් ම නොකඩවා පැවති බවත් සඳහන් වෙනවා. බුචාඩ් එය හඳුන්වා ඇත්තේ ස්ටෙලා (Stella) යන නමින්. එය තරුවක් හැඳින්වීමට යොදන තවත් නමක් බව මෙහිදී අප අමතක කළ යුතු නැහැ. 

බොහෝ නෝවා පිපිරීම් වසර දහස් ගණනක් තිස්සේ සිදු වෙනවා. මේ T CrB තරුවේ විශේෂත්වය එහි මුලු ක්‍රියාවලිය ම සතියක විතර කාලයකින් සිදු වී අවසන් වීමයි. මේ නෝවා පිපිරුමේ දීප්තිය දින කීපයකින් උපරිමයට ළඟා වීම මෙහි ඇති විශේෂත්වයයි. ඒ නිසා සතියක කාලයක් තිස්සේ මේ පිපිරීම වසර 80ක් තරම් කාලයක්. ඉන්පසු එහි ආලෝකය අඩු වී යන අතර එය නැරඹිය හැක්කේ විද්‍යාවෙහි උපකරණවල ආධාරයෙන් පමණයි. 

මේ පිපිරුම සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටය පහතින් නරඹන්න. 

https://www.dailymail.co.uk/sciencetech/article-13192217/new-star-night-sky-visible-one-week.html?ito=link_share_article-image-share#i-5166d632c1aeb2d1

පර්සි ජයමාන්න 


 

Post a Comment

0 Comments